top of page
Search

අධිවේගී මාර්ග ආදායමට විදීමක් වසර 5ක මහා පරිමාණ වංචාව හෙළිවෙයි

  • Susil Priyantha
  • Feb 27
  • 1 min read



ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රජයට ලැබිය යුතු බිලියන සංඛ්‍යාත ආදායමක් විවිධ කූට උපක්‍රම හරහා සාවද්‍ය පරිහරණය කර ඇති බව ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. 2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ වසර හතරකුත් මාස නවයක කාලය තුළ අධිවේගී මාර්ග වෙත වාහන කෝටි 13කට අධික ප්‍රමාණයක් ඇතුළු වී ප්‍රවේශ පත්‍ර ලබාගෙන තිබුණද, ඉන් වාහන එක්කෝටි අසූ දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් පිටවීමේදී ටිකට් පත් නිකුත් කර නොමැති බව විගණනයේදී හෙළි විය. මෙම අමුතු ‘අතුරුදන් වීම’ හේතුවෙන් රජයට අහිමි වී ඇති දළ ආදායම රුපියල් මිලියන 4,614.47ක් වන අතර, එය දෛනිකව රුපියල් මිලියනයක මහා පරිමාණ ආදායම් අහිමි වීමකි.


මෙම වංචාව සඳහා මුදල් අයකැමිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සෘජුවම සම්බන්ධ වී ඇති බවට සාක්ෂි පවතින පසුබිමක, ඒ පිළිබඳ වගකිවයුත්තන් හඳුනාගෙන විනයානුකූල පියවර ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරියේ කළමනාකාරිත්වය මෙතෙක් අපොහොසත් වීම බරපතල ගැටලුවක් ලෙස විගණනය පෙන්වා දෙයි. තාක්ෂණික දෝෂ හෝ පද්ධතිමය දුර්වලතා මුවාවෙන් සිදුකර ඇති මෙම මූල්‍ය අක්‍රමිකතාවය හේතුවෙන් ජාතික ආර්ථිකයට සිදුව ඇති බලපෑම සුළුපටු නොවේ. මහජන මුදලින් නඩත්තු වන අධිවේගී මාර්ග පද්ධතියේ මෙවැනි දූෂිත ක්‍රියාවලීන් නතර කිරීමට නම් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා වංචාවට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට විද්වත්හු පෙන්වා දෙති.

 
 
 

Comments


bottom of page