top of page
Search

හරක් කොටා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියුදේ

  • Susil Priyantha
  • May 14, 2025
  • 1 min read

Updated: Jun 26, 2025



හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමන්ගෙන් රුපියල් කෝටි 30ක් ලබාදෙන්නට ඉල්ලා ඇති බව, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ නඳුන් චින්තක වික්‍රමරත්න, හැඳින්වෙන්නේ 'හරක් කටා' ලෙසින්, සඳහන් කළේය.

ඔහු කියා සිටියේ, මෙම මුදල ලබා නොදුන් හේතුවෙන් තමන් තංගල්ල බන්ධනාගාරයේ තබා ඇති අතර, එහිදි මාසිකව රුපියල් කෝටි 1කට ආසන්න වියදමක් සිදු කරන බවයි.

අද (14) අධිකරණයේ නඩු විභාගයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම චෝදනා ඉදිරිපත් කළේය.

කෙසේවුවද මෙසේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට හරක් කටා වෙත අවස්ථාව සැලසීම කිසියම් සැලැස්මක් අනුව සිදුවූවක් විය හැකිබවට ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අදහස් දක්වා ඇත.


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පත්කරනු ලැබූ පරීක්ෂණ කමිටුවේ කටයුතු කඩිනමින් සිදුවන මොහොතක 'හරක් කටා' විසින් පොලිස්පතිට  එරෙහිව අද දිනයේ ප්‍රසිද්ධියේ සිදුකල ප්‍රකාශය එවැනි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සැකයට ලක්ව ඇත.


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව, අප්‍රේල් 08 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

හිටපු ඇමති ටිරාන් එදා කියපු කතාව : ''හරක් කටා' කෝටි 70ක් ඔෆර් කළා''

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් තමන්ගෙන් රුපියල් කෝටි තිහක් ඉල්ලා සිටි බව හරක් කටා පැවසුවද නදුන් චින්තක නොහොත් 'හරක් කටා '  අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට ගෙන්වා නොගෙන ඩුබායි රාජ්‍ය වෙත යවන ලෙස ඉල්ලමින් තමාට මිලියන 700ක අල්ලසක් ලබා දීමට උත්සාහ කල බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මිට ඉහතදී ප්‍රකාශකර තිබිණ.


තමා ඒ අවස්ථාවේදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත් කල බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණ.


හිටපු අමාත්‍ය ටිරාන් අලස් එම කාරණය අනාවරණය කර සිටියේ, 2023 නොවැ 4  දා දකුණු පළාත් පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.


මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින හරක් කටා හෙවත් නදුන් චින්තක නැමැත්තා වෙනුවෙන් රජය මාසයකට රුපියල් කෝටියක මුදලක් වැය කරන බවට ඔහුගේ නීතිඥයින් ද පසුගියදා අධිකරණය හමුවේ කරුණු දැක්විය.


නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට එරෙහිව පවතින නඩුවක් ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා හමුවේ පසුගිය 9 වැනිදා කැඳවූ අතර සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන සංජය ආරියදාස, පුබුදු රන්දිම සහ උදුල් ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේ තම සේවාදායකයා වෙනුවෙන් රජයට මාසිකව රුපියල් කෝටියකට අධික මුදලක් දැරීමට සිදුව තිබෙන බවයි.


ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට අයත් තංගල්ල පැරණි බන්ධනාගාරයේ මෙම සැකකරු පමණක් රදවා තිබෙන බවද, මොහුගේ ආරක්ෂාව සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් 63 දෙනක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් 24ක් ලෙස 87 දෙනෙක් යොදවා තිබෙන බවද නීතීඥින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාවරණය කළේය.


එක් සැකකරුවෙක් පමණක් රදවා සිටින බන්ධනාගාරයට මාසිකව රුපියල් ලක්ෂයක ජල බිලක්ද, රුපියල් හැට පන්දහසක විදුලි බිලක්ද ලැබෙන බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට දැනුම් දුන්නේය.


රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් සදහා වන ආහාර පාන, වැටුප් ඇතුළුව මෙම සැකකරු වෙනුවෙන් පමණක් මසකට රුපියල් කෝටියක පමණ මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බවද නීතීඥයින් අධිකරණය හමුව් කරුණු දැක්වූවේය.


ගාල්ල සහ කොළඹ අධිකරණ හමුවේ විභාගවන නඩු සදහා මෙම සැකකරු තංගල්ලේ සිට රැගෙන එන බවත්, එහිදී ආරක්ෂාව සමග වාහන හතරක් පැමිණෙන බවත්, ගමන් ගන්නා අතර මරද ඇති පොලිස් ස්ථාන විසින් සැකකරුට ආරක්ෂාව ලබාදෙන බවත් පැවසූ නීතීඥයින් එක් සැකකරුවෙක්ට පමණක් මෙතරම් මුදලක් වැය කිරීමට හේතුව කුමක්දැයි විමසා සිටියේය.

 
 
 

Comments


bottom of page