top of page
Search

බානගල උපතිස්ස හිමිගේ අවසරපත නිසා ඇමතිට විරෝධය පෑ ගුවන් සේවා සභාපති ඉල්ලා අස්වේ

  • Susil Priyantha
  • Jan 29
  • 1 min read

ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු අණදෙන නිලධාරී එයාර් චීෆ් මාෂල් හර්ෂ අබේවික්‍රම සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.


කතාව මෙසේ ය.


බානගල උපතිස්ස හිමි ජපානයේ ප්‍රධාන සංඝනායක ස්වාමින් වහන්සේ වන අතර, ශ්‍රී ලංකාවේ මහාබෝධි සමාගමේ සභාපති ලෙස ද ඉන්දියාවේ සංචි විහාරය ඇතුළු දෙස් විදෙස් රටවල් කිහිපයකම තනතුරු හොබවන හිමි නමකි. උන්වහන්සේ වෙත ගුවන්තොටුපළ විශේෂ වරප්‍රසාදයක් ලෙස ගුවන්තොටුපල පර්යන්තයට යාමට හැකිවන පරිදි අවසරපතක් ලබාගෙන තිබෙන අතර, එය මුලින්ම ලබා දී ඇත්තේ 2021 වර්ෂයේදී. ඒ එවක සංචාරක හා ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මිය විසිනි. එම විශේෂ අවසරපත පසුගිය දෙසැම්බර් මස 31 දිනට කල් ඉකුත් වන බැවින් නව වසර සඳහා එම අවසරපත ලබාදෙන ලෙස ඉල්ලා එම බානගල උපතිස්ස හිමියන් විසින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වෙත 2025.12.29 ලිපියක් මගින් ඉල්ලීම් කර තිබේ.


අනතුරුව අමාත්‍යතුමා විසින් එම ලිපිය නිර්දේශ කර ගුවන්තොටුපල සභාපතිවරයා වෙත යවා ඇති අතර, සභාපති වරයා විසින් එම ඉල්ලීමට පිළිතුරු ලිපියක් 2026. 01. 09 දින බානගල උපතිස්ස හිමියන් වෙත ඒවා ඇති අතර, එහි සඳහන් කර තිබෙන්නේ, හදිසි අවශ්‍යතාවයක් නිසා ගුවන්තොටුපල පරිශ්‍රයට ඇතුල් වීමට අවශ්‍යනම් ආරක්ෂක පරිවාර සේවාවක් සමඟ පහසුකම් සලසා දිය හැකි බවත්, වසරක් සඳහා එසේ අවසර ලබාදීමට නොහැකි බවයි. එය ගුවන්තොටුපල ආරක්ෂාවට යම් තර්ජනයක් ඇති වීමට ද ඉඩ ඇති බවත්, එම පරිශ්‍රයට ඇතුලත් වීමට අවසර ඇත්තේ රාජකාරි අවශ්‍යතා අනුව ගුවන්තොටුපල සේවකයින්ට පමණක් බවත් මෙම ලිපිය මගින් සඳහන් කර ඇති සභාපතිවරයා අවසරපත් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.


ආයතනයේ අභිප්‍රායන් අනුව ගුණාත්මකභාවය පවත්වාගනිමින් රාජ්‍ය ආයතනයක් ලෙස වගකීමෙන් වැඩ කිරීමට තමන් කැපවන බවද මෙහිදී ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා සඳහන් කර ඇත.


ගුවන්තොටුපළවල ආරක්ෂික ප්‍රදේශ පාලනය කරනු ලබන්නේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ දැඩි රෙගුලාසි අනුව වන අතර, මෙම කලාපයට පිවිසීම සඳහා ආරක්ෂක නිෂ්කාශන සඳහා සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ගුවන් සේවා ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව පුළුල් පරික්ෂාවක් අවශ්‍ය වේ.


ඒවා නොතකා දේශපාලන උපදෙස් අනුව කටයුතු කිරීම ගුවන්තොටුපළ ආරක්ෂාව අවදානමට ලක් කළ හැකි අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පරීක්ෂාවට ලක් කළ හැකිය.


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කීර්තිමත් සම්මානලාභී නිලධාරියෙකු වන එයාර් චීෆ් මාෂල් අබේවික්‍රම, ගුවන් සේවා ආරක්ෂක පද්ධතිවල අඛණ්ඩතාව පවත්වා ගැනීමේ වගකීම සමඟ අමාත්‍ය ඉල්ලීම නොගැලපෙන බව සැලකූ බව වාර්තා වේ.

 
 
 

Comments


bottom of page