පාරිභෝගික සංවිධාන ගෘහස්ථ ගෑස්වලට පාලන මිලක් ඉල්ලයි
- Susil Priyantha
- Feb 7
- 2 min read

ගෘහස්ථ ගෑස් සදහා පාලන මිලක් පනවන ලෙස පාරිභෝගික සංවිධාන රජයෙන් ඉල්ලා සිටිනවා.
මෙරට ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වරින් වර මතුවන නොගැලපීම් හමුවේ එවැනි නියාමනයක් අත්‍යාවශ්‍ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ අතර, අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් වන ගෘහස්ථ ගෑස් මිල වරින් වර අවස්ථා කිහිපයකදී ඉහළ දැමීම හේතුවෙන් තමන් ද දැඩි ලෙස පීඩාවට පත්වන බව පාරිභෝගිකයින්ද පවසනවා.
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 80කින් ඉහළ නැංවීමට ලාෆ්ස් ගෑස් සමාගම පියවර ගත්තා.
ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 4,330ක් ලෙසයි.
එසේම, කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,742ක්.
මීට පෙරද ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ දැමීමට එම සමාගම පියවර ගත් අතර, ඒ අනුව ජනවාරි මාසයේ කිලෝග්‍රෑම් 12.5කැ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ නංවා තිබූ අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද එම අවස්ථාවේ රුපියල් 65කින් ඉහළ නැංවීමටයි ලාෆ්ස් ගෑස් සමාගම පියවර ගෙන තිබුණේ.
කෙසේ වෙතත් ගතවූ මාස තුන පුරාම ලිට්‍රෝ ගෑස් මිල ගණන් ඉහළ දැමීමක් සිදුනොවූ අතර, එහි මිල ස්ථාවරව පැවැතියා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල තවමත් පවතින්නේ රුපියල් 3,690ක මිලකට පවතින අතර කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,82 ක් ලෙසයි.
ලිට්‍රෝ සමාගම පවසන්නේ ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ නැංවිය යුතු වුවත් රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එලෙස මිල ඉහළ නැංවීමක් සිදුනොකරන බවයි.
මේ අතර, ලාෆ්ස් ගෑස් මිල වැඩිකිරීමත් සමග ඉදිරියේදී ආහාර මිලද වැඩිකිරීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
එමෙන්ම පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ද රජයෙන් ඉල්ලා සිටින්නේ ගෘහස්ථ ගෑස් සඳහා පාලන මිලක් පනවන ලෙසයි.
ගෑස් මිල ඉහළයාම සම්බන්ධයෙන් තම අධිකාරියට මැදිහත්විය නොහැකි බව ලාෆ්ස් ගෑස් මිල ඉහළදැමීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළා.
පාලන මිලක් පනවන භාණ්ඩ අතර ගෑස් නොමැතිවීම ඊට හේතුව බවයි එහි උසස් නිළධාරියෙකු පැවසුවේ.
එහෙත් අසාධාරණ ලෙස මිල ඉහළ යාමක් සිදු කළහොත් ඒ සම්බන්ධයෙන් මැදිහත්වීමක් සිදු කළ හැකි බවත් අදාල නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම පසුගිය දිනවල පැවති දැඩි ලාෆ්ස් ගෑස් හිඟය සම්බන්ධයෙන් තම අධිකාරියට පැමිණිලි රැසක් ලැබි ඇති බැවින් ඉදිරියේ දී ලාෆ්ස් ගෑස් සමාගම සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.




Comments