විදේශ කටයුතු අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරියෙකුගෙන් කාර්යාල සහායකයෙකුට පහරදීමක්?

විදේශ කටයුතු අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරියෙකුගෙන් කාර්යාල සහායකයෙකුට පහරදීමක්? සිද්දිය යට ගහන්නත් වැඩ
විදේශ කටයුතු අමාත්‍යාංශය තුළ සේවය කරන කාර්යාල කාර්ය සහායකයෙකුට, එම අමාත්‍යාංශයේම උසස් පරිපාලන නිලධාරියෙකු විසින් අමානුෂික ලෙස පහරදුන් බවට බරපතළ සහ සංවේදී චෝදනාවක් එල්ල වී තිබේ. මෙම සිදුවීමත් සමඟ මේ වන විට අමාත්‍යාංශ සේවකයන් අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් සහ බලවත් අප්‍රසාදයක් හටගෙන ඇති බව වාර්තා වේ.
සේවක ආරංචි මාර්ග පවසන පරිදි, මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ ප්‍රවාහන අංශයට අනුයුක්තව සේවය කරන සම්පත් නම් කාර්යාල කාර්ය සහායක මහතෙකි. පහරදීම සිදු කළ බවට සෘජුවම චෝදනා එල්ල වී ඇත්තේ එම අංශය භාරව කටයුතු කරන පරිපාලන නිලධාරියෙකු වන D.H සමන්ත නැමැත්තාටය.
වාර්තා වන අන්දමට, පසුගිය සඳුදා දිනයේ දිවයින පුරා පැවති බස් රථ වැඩ වර්ජනය හේතුවෙන් සම්පත් මහතාට සේවයට වාර්තා කිරීමට නොහැකි වී ඇත. තමන් මුහුණ දුන් ප්‍රවාහන අපහසුතාව පිළිබඳව ඔහු අදාළ පරිපාලන නිලධාරියාට දුරකථනයෙන් කල්තියා දැනුම් දී ඇති බවත්, එය හදිසි තත්ත්වයක් මත ලබාගත් සාධාරණ නිවාඩුවක් මිස සේවය මඟහැරීමක් නොවන බවත් සේවකයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත්, පසුදා (අඟහරුවාදා) පෙරවරු 7.30 ට පමණ සම්පත් මහතා සුපුරුදු පරිදි සේවයට වාර්තා කර ඇත. ඔහු තමන්ගේ රාජකාරි කොටසක් වන කාර්යාල පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කර, තේ පානය කිරීමෙන් පසු නැවත පැමිණි අවස්ථාවේදී, අදාළ පරිපාලන නිලධාරියා ඔහුට අසභ්‍ය වචනයෙන් දැඩි ලෙස බැන වැදී ඇති බව වාර්තා වේ.
“උඹලා නිවාඩු ගන්නවා, මට මෙතන ෆොටෝකොපියක් ගන්න එකෙක් නෑ” යන අර්ථයෙන් දැඩි ක්‍රෝධයකින් යුතුව නිලධාරියා කෑගසා ඇති බව පැවසේ.
එම අවස්ථාවේදී සේවකයා, “AO මහත්තයාට මම කෝල් කරලා කියලානේ නිවාඩුව ගත්තේ. බස් ස්ට්‍රයික් එක නිසානේ එන්න බැරි වුණේ,” යනුවෙන් සිහිපත් කරද්දීම, කෝපයට පත් පරිපාලන නිලධාරියා දොර අසලදීම සේවකයාගේ කන හරහා දැඩි පහරක් එල්ල කළ බව සේවකයෝ සාක්ෂි දරති.
පහරදීම හේතුවෙන් සම්පත් මහතාගේ මුහුණ සහ කන ආශ්‍රිත ප්‍රදේශය දැඩි ලෙස ඉදිමී ඇති අතර, සෙසු සේවකයන් මැදිහත් වී ඔහුව වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. හිස සහ කන වැනි සංවේදී අවයව ඉලක්ක කරමින් එල්ල කරන මෙවැනි පහරදීම් නිසා අභ්‍යන්තර ලේ ගැලීම් හෝ කනට ස්ථිර හානි සිදුවිය හැකි බැවින්, මෙය සුළු කොට තැකිය නොහැකි බව අප අවධාරණය කරමු.
මෙම සාහසික ක්‍රියාව සම්බන්ධයෙන් මේ වන විට පොලිස් ප්‍රශ්න කිරීම් පවා සිදු කර ඇති බව වාර්තා වේ.
සේවකයන් අතර මේ වන විට වඩාත්ම දැඩි කතාබහක් සහ වෛරයක් නිර්මාණය වී ඇත්තේ ආයතනික අංශයේ අධ්‍යක්ෂවරයෙකු වන මාසංක නැමැති නිලධාරියාගේ හැසිරීම පිළිබඳවයි. මෙම බරපතළ පහරදීම සහ විනය විරෝධී ක්‍රියාව හුදෙක් “සුළු සිදුවීමක්” ලෙස හුවා දක්වමින්, සිද්ධිය යට ගැසීමට මෙම අධ්‍යක්ෂවරයා උත්සාහ කරන බවට සේවකයන් අතරින් බරපතළ චෝදනා එල්ල වේ.
මෙම සිද්ධියේ තවත් පැතිකඩක් අනාවරණය කරමින් සේවකයින් පවසන්නේ, අදාළ පරිපාලන නිලධාරියා කාලයක සිට කාර්යාලයේ විවිධ සේවකයින්ගෙන් මුදල් ඉල්ලා පීඩනයක් එල්ල කර ඇති බවයි. පහර කෑ සම්පත් මහතාගෙන්ද මීට පෙර රුපියල් ලක්ෂ පහක ණය මුදලක් ඉල්ලා ඇති බවත්, එය ලබා දීමට අපොහොසත් වීම නිසා ඔහු කෙරෙහි වෛරයකින් පසුවූවාද යන්න සේවකයන් තුළ සැකයක් පවතී.
එමෙන්ම පහරදීමෙන් පසු අදාළ නිලධාරියා පවසා ඇත්තේ, තමන්ගේ බිරිද සමග ඇති පවුල් ජිවිතයේ ගැටලු සහ කාර්යාලයෙන් ඉල්ලූ මාස 10ක ණය මුදලක් ප්‍රතික්ෂේප වීම නිසා ඇතිවූ “මානසික පීඩනය” හේතුවෙන් මෙය සිදු වූ බවයි. එහෙත් සේවකයන් අවධාරණය කරන්නේ තමන්ගේ පෞද්ගලික හෝ ආර්ථික ප්‍රශ්න, තවත් මනුෂ්‍යයෙකුට අත ඉසීමට කිසිසේත්ම සාධාරණ හේතුවක් නොවන බවයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය යනු ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ජාත්‍යන්තරය හමුවේ නිරූපණය කරන රටේ ප්‍රධානතම මධ්‍යස්ථානයකි. එවැනි උත්කෘෂ්ට ආයතනයක් තුළ, තනතුරේ බලය අතට ගෙන පහළ ශ්‍රේණියේ සේවකයන්ගේ මානව ගෞරවය කෙළෙසීමට සහ ශාරීරික වධහිංසා පැමිණවීමට කිසිදු නිලධාරියෙකුට ඉඩ දිය නොහැක.මා මීට ඉහතද මා පෙන්වා දුන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයේ බොහෝ නිලධාරින් මානසික අවපීඩනයෙන් පෙලෙන බවයි, බොහෝ නිලධාරින් තමා යටතේ සිටින නිලධාරීන් නිලධාරීනියන් හට සියදිවි හානි කරගන්නා තරමටම දැඩි පීඩනයක් දෙන බව මා මීට ඉහතද පෙන්වා දුන්නේ මේ සිද්දිය ඇති වීමට ප්‍රථමයෙනි.
අද මානසික ආතතිය සහ පීඩනය වඩ වඩාත් ඔඩුදුවා ඇති පසුබිමක, මෙවැනි විනය විරෝධී හැසිරීම් සහිත පුද්ගලයන් පිළිබඳව වහාම සොයා බැලිය යුතුය. අද සුළු සේවකයෙකුගේ කනට පහර දුන් මෙවැනි මානසික මට්ටමක සිටින නිලධාරියෙකු, හෙට දින තමන්ට රිසි නොවන තීරණයක් ගතහොත් අමාත්‍යවරයාට වුවද අත උස්සනු ඇතැයි අප ඇමතිතුමාට පෙන්වා දෙමු
එබැවින්, විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් අප ඉල්ලා සිටින්නේ
1. මෙම පහරදීම සම්බන්ධයෙන් වහාම ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි.
2. චෝදනා ලැබූ HA සමන්ත නැමැති නිලධාරියාට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙසයි.
3. මෙම සාහසික ක්‍රියාව යට ගැසීමට සහ සුළු කොට තැකීමට උත්සාහ කරන "මාසංක" නැමැති අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳවද විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
බලය සහ නිලතල තිබූ පළියට රාජ්‍ය සේවය තුළ මැරවරයින් පෝෂණය වීමට ඉඩ නොතැබිය යුතුය. පහර කෑ සේවකයාට වහාම සාධාරණය ඉටු විය යුතුය! අපි අදාළ සිද්දිය ගැන අවධානයෙන් සිටින බව අවසන් වශයෙන් පෙන්වා දෙමු




Comments