top of page
Search

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල

Susil Priyantha
Jul 9
1 min read

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල මෙහෙයවූ බව කියන පාතාල කල්ලි සාමාජික කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තා කිසියම් පිරිසකගේ පහරකෑමට ලක්ව බරපතල තුවාල ලබා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.


පහරකෑමෙන් ඔහුගේ කොන්ද ප්‍රදේශයට බරපතල තුවාල සිදු වී ඇවිදීමටද නොහැකි තත්ත්වයකට පත් ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ විරුද්ධ පිරිසක් මෙම පහරදීම කර ඇති බවටද එම ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.


මීගමුව බන්ධනාගාරයේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඉකුත් පස්වැනිදා රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී රැඳවියන් දෙදෙනෙකු මියගොස්, රැඳවියෝ 34 දෙනෙක් තුවාල ලැබුවා. ඉන් අනතුරුව පසුදින මීගමුව බන්ධනාගාර රැඳවියන්ගේ ඉල්ලීම මත බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකුගේ උපදෙස් මත වැලිකඩ බන්ධනාගාරයේ හදිසි උපක්‍රමික බලකායේ දසදෙනාගෙන් යුත් නිලධාරීන් පිරිසක් රැඳවියන්ට ඥාතීන් හමුවීමට සහ ආහාර පාන ලබාදීම සඳහා රැඳවියන් රැගෙන යාමට ගිය අවස්ථාවේදීම කලාකාරී ලෙස හැසිරී බන්ධනාගාර නිලධාරීන්ට පහර දෙමින් ඔවුන්ව ප්‍රාණ ඇපයට ගෙන අමානුෂික ලෙස දස වද දී එයින් සමහරක් එම ස්ථානයේදීම ඝාතනය කර තිබූ අතර තවත් සමහරෙකුට බරපතල තුවාල සිදුකර තිබුණා.


එම සිද්ධියෙන් පසුව කටුවැල්ලේගම සුරේෂ් ඇතුළු දරුණු ගණයේ පාතාල සාමාජිකයන් ඇතුළු රැඳවියන් රැසක් බූස්ස බන්ධනාගාරය ඇතුළු තවත් දිවයිනේ බන්ධනාගාර කීපයකට මාරු කර යැවුවා. බූස්සට මාරු කරනු ලැබූ රැඳවියන් පිරිස අතර මත්ද්‍රව්‍ය ජාවාරමට විරුද්ධ රැඳවියන්ද සිටි බව එම ආරංචි මාර්ග කියනවා.


ඒ සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී මේ කලාකාරී තත්ත්වය තිරේ පිටුපස සිට මෙහෙයවූ බව කියන සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයා කේල් බද්දර පද්මේ නැමැත්තාගේ සමීපතමයෙකු වන කටුවැල්ලේගම සුරේෂ් බවට අනාවරණය වූ බව බන්ධනාගාර උසස් නිලධාරියෙක් කියනවා.


එම පාතාල කල්ලි සාමාජිකයාට මත්ද්‍රව්‍ය ජාවාරම, තියුණු ආයුධ වලින් පහරදීම, කොල්ලකෑම මෙන්ම මීට වසර 10කට පමණ පෙර විහාරස්ථානයක හිමි නමකට සහ සහායකයෙකුට පහරදී බැඳ තබා චෛත්‍යයකට හානිකිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවූවෙකු බව එම උසස් නිලධාරියා සඳහන් කර තිබෙනවා.


 
 
 

Comments


bottom of page